Saturday, January 8, 2022

මගේ පුංචි රෝස මලේ ගීත විචාරය...


මගේ පුංචි රෝස මලේ
 ගීත විචාරය...
 


මගේ පුංචි රෝස මලේ

මමයි නුඹේ වියපත් බඹරා

නුඹ හීනෙන්වත් නොදකින කුමරා...//

 

කළුවර රෑ සඳක් වගේ 

අහසේ නුඹ ඉන්නවනම්...
ආසයි මම නොකී කවිය 
නුඹට කියන්න...

තරහක් නැහැ නුඹ බැස යන්න...

මගේ පුංචි රෝස මලේ...
 

මගේ පුංචි නවාතැනේ 
ඇවිදින් සැරි සරනවනම්...                                               
ආසයි මං කවුළු පියන්
ඇරලා තියන්න...
 

තරහක් නැහැ නෑවිත් ඉන්න
 

මගේ පුංචි රෝස මලේ...

                                                  
                                                    දූරංගමං ඒකචරං
                                                    අසරීරං ගුහාසයං...
 
බුදුන් වහන්සේ දේශනා කොට වදාළ ඉහත ගාථා පාඨයට අනුව සිත යනු දුර ගමන් යන තනිව හැසිරෙන ශරීරයක් නොමැති ගුහාවකි. ඒ අනුව, මගේ පුංචි රෝස මලේ... යන ගීතයට පදනම් වන්නේ ද එවන්නකී.එනම්, තම සංගීත පංතියට පැමිණෙන තරුණ ලස්සන ගැහැණු ළමයෙක් හට සංගීත ගුරුවරයා සිතින් පෙම් කිරිමයි. මෙය ඒකපාර්ශවික ආදරයක් ලෙස දැක්විය හැකිය. සමාජ සංකල්පය අනුව මෙවැනි ප්‍රේමවෘතාන්ත අසම්මත වුවද, ප්‍රේමය වනාහි වයස් ‍භේදයකින් තොරව සිත තුළ ජනිත වන චමත්කාරජනක හැඟීමකි. නමුත් මෙහි එන ගුරුවරයා තම සිතැඟි අවට පරිසරයේ වෙසෙන්නන් හට වචනයකින් හෝ දැනගැනීමට ඉඩප්‍රස්තාවක් නොදෙයි. මෙම ගීතයේ දැක්වෙන ආකාරයට ගුරුවරයා එම තරුණ ගැහැණු දරුවට තම සිතෙහි පවතින ප්‍රේමාන්විත හැඟීම දැනෙන්නට නොහරිනවා සේම,ඇය එවන්නක් සිහිනයකින්වත් නොසිතන බව පසක් කරයි. එය පහත පරිදි වේ.
 
                                            මගේ පුංචි රෝස මලේ 
                                            මමයි නුඹේ වියපත් බඹරා 
                                            නුඹ හීනෙන්වත් නොදකින කුමරා...// 
  
නුඹ හීනෙන්වත් නොදකින කුමරා.. යනුවෙන් ගුරුවරයා ගැහැණු දරුවා වෙත තම හැඟීම් ප්‍රකාශ කර නොමැති බව කවියා විද්‍යමාන කර දක්වයි.
 
මෙහි එන ගුරුවරයා තම සිතැඟි ප්‍රකාශ කිරීමට යත්න නොදරයි.මන්දයත් ඔහු එවැන්නක් සිදු කිරිම සමාජ සංස්කෘතියට පටහැනි බව සේම එවැනි ආකල්පයක් තම සිතෙහි උද්දීපනය වීමද  සමාජ සංස්කෘතියට නොගැළපෙන බව ඔහු දනි. නමුත් මෙම ගුරුවරයාගේ සිත තුළ චමත්කාරජනක ආශාවක් ජනිතව පවතින බව කවියා පසක් කරන්නේ මෙසේය. 
 
              කළුවර රෑ සඳක් වගේ 
                                             අහසේ නුඹ ඉන්නවනම්...
                                             ආසයි මම නොකී කවිය

                                             නුඹට කියන්න... 
 
ගුරු සිත තුළ පවතින චමත්කාරජනක ආශාව කවියා උපමා භාවිතයෙන් අලංකාරවත් ලෙස සහෘද පාඨකයා වෙත ඉදිරිපත් කොට ඇත. රාත්‍රි අහසක අන්ධකාරය දුරු කරන්නේ සඳ මඟිනි. එමෙන් ම මෙම ගුරුවරයාගේ ජීවිතය ද අන්ධකාරය.ගුරුසිත හඳුනාගත් ආකාරයට මෙම ගැහැණු දරුවා තමා හා ප්‍රේමයෙන් බැඳුණොත් තම ජීවිතයේ අන්ධකාරය පලා ගොස් දීප්තිමත් අනාගතයක් උදාවනු බව නොඅනුමානය.ගුරුසිත හඳුනාගත් ආකාරය කවියා ව්‍යංග්‍යාර්ථවත් බස් වහරක් උපයුක්ත කොට ගනිමින් ඉදිරිපත් කරන්නේ කළුවර රෑ සඳක් වගේ යනුවෙනි. නමුත් මෙය ගුරුසිතෙහි පවතින ඉටු නොවන බලාපොරොත්තුවක් පමණි. කවියා එසේ පවසන්නේ කාලයත් සමඟ ගැහැණු දරුවාගේ සිතුම් පැතුම් මෙම ගුරුවරයා මනාව වටහා ගන්නා බැවිනි. මෙම ගුරුවරයා තම සිතැඟි නොපවසනවා සේම පැවසුවහොත් මුහුණ දීමට සිදුවන කටුක අත්දැකීම මනාව වටහාගත් අයෙකි. ඒ අනුව ඔහු, තම අදහසට එකඟ නොවන්නේ නම් ඇයට ඉවත්ව යන ලෙසට පවසන්නේ,
 
                                            තරහක් නැහැ නුඹ බැස යන්න... 
 
යනුවෙනි.
බුදුහිමියන් දක්වන ආකාරයට පෘථග්ජනයන් වන අප හට සිත දමනය කිරීම දුෂ්කර වූ කර්තව්‍යයකි. නමුත් මෙම ගුරුවරයා ප්‍රේමය නම් වූ හැඟීම තුළ තම සිත දමනය කරගැනීමට සමත් වූ බව ආසයි මම නොකී කවිය නුඹට කියන්න... යනුවෙන් විද්‍යමාන වේ.
 
කවියා දක්වන ආකාරයට මෙහි එන ගුරුවරයා කෙදිනකවත් සැබෑ නොවන සිහිනයක් දකී. එපමණක් නොව ඔහු එම සිහින ලෝකය තුළ ඔහුගේ ජීවිතය ජීවත් කරවයි.එලෙස සැබෑ නොවන බව දැන දනත් සිහින ලොවක ජීවත් වන ආකාරය කවියා ඉදිරිපත් කරන්නේ පහත අයුරිනි.
 
                                            මගේ පුංචි නවාතැනේ 
                                            ඇවිදින් සැරි සරනවනම්...
                                            ආසයි මං කවුළු පියන්
                                            ඇරලා තියන්න... 
 
මෙහි දැක්වෙන ආකාරයට ගුරුවරයා තනිව වාසය කරන්නෙකි.එමෙන්ම ඔහුගේ නවාතැනට කාන්තා පාර්ශවය නොපැමිණෙයි.නමුත් ගුරු සිත තුළ ප්‍රේමණීය හැඟීම් උද්දීපනය කළ ගැහැණු ආත්මය මෙම පුංචි නවාතැනට පැමිණෙන්නේ නම් නවාතැනෙහි වූ දොර ජනේල් සියල්ල විවෘතව තබන බව පවසයි.නමුත් කවියා මෙහිදි ව්‍යංගයෙන් පවසන්නේ ඇය තම ජීවිතයට පැමිණෙන්නේ නම් කිසිඳු අඩුවක් නොතබන බවයි. එමෙන්ම ඇය මෙම නවාතැනට පැමිණීමට අකමැති නම් ඒ පිළිබඳව ද ගුරු සිතෙහි කිසිඳු තරහක් නොවන බව ගම්‍ය කරන්නේ තරහක් නැහැ නෑවිත් ඉන්න යනුවෙනි.
 
ඒ අනුව, ධම්මික බණ්ඩාරයන්ගේ පද රචනයෙන් ද ඩැනිස්ටර් පෙරේරයන්ගේ සංගීතයෙන් ද හැඩ වුණු මෙම ගීතය අමරසිරි පීරිස් විද්වතානන් විසින් ගායනය කරනු ලබයි.ඒ අනුව තම සිතෙහි උද්දීපනය වූ ප්‍රේමණීය හැඟුමන් මනාව විකසිත කරන්නට සමත් වූ සාර්ථක පද්‍ය පංතියක් ලෙස නිගමනය කළ හැකිය. එමෙන් ම ඒක පාර්ශවික ප්‍රේමයක් සිතේ දරාගෙන තම හැඟුමන් දමනය කරන්නට සමත් වූ ආකාරය මෙම ගීතය තුළින් මනාව විද්‍යමාන වේ.    
  
 
 
 

6 comments: