Tuesday, January 11, 2022

ගණිකා වෘත්තිය ශ්‍රි ලංකාවේ නීතිගත කළ යුතු ද?

ගැහැනියකගේ උතුම් පාරිශුද්ධත්වය කාසි පනම් හමුවේ 

හෑල්ලුවට ලක් කරමින් පටු ආර්ථික අරමුණු ඉටුකර ගැනීම

සඳහා කාමාතුරයන් හමුවේ භාවාත්මක හැඟීමකින් තොරව 

ලිංගික චර්යාවන්හි යෙදෙන්නිය අභිසාරිකාවකි. ගණිකාව, 

අභිසරලිය, වෙසගන, වෛශ්‍යාව යන නාමයන් රාශියකට 

උරුමකම් කියන ඇය වත්මන පමණක් නොව පුරාණ අතීතයේ 

සිට පැවත එන්නියක් බව පසක් කරලීමට පවත්නා සාධක 

ඉමහත්ය.

මුල් කාලීන සමාජයේ අරාජිකත්වය හමුවේ ලිංගික නිදහස උපරිම ලෙස භුක්ති විඳි පුරුෂ පාර්ෂවය ගැහැනිය පිළිබඳ පූර්ණ අයිතිය පුරුෂයා සතු කරගනු ලැබුවේ නිරායාසයෙනි. මෙම ඛේදජනක සිදුවීමත් සමඟ ගණිකාවෘත්තියේ ආරම්භය සනිටුහන් වූ අතර එහි ව්‍යාප්තිය පිණිස ආගමික ආභාසය ලැබීම ද කණගාටුදායක සිදුවීමක් විය. යම් යම් දෙවිවරු වෙනුවෙන් ගැහැනියගේ පතිවත පූජා කිරිම අතිත ආගමික ක්‍රියාවක් වූ අතර එම මිත්‍යාව රජ කරමින් සමහර කාන්තාවන් දේවාල භාර කපු මහතාට දාසියන් වන්නට විය. බැබ්ලෝනියානු ශිෂ්ටාචාරයේ ගණිකාවන් පිළිබඳ මුල්ම තොරතුරු හමු වන අතර ඉන්දියාව, බටහිර අප්‍රිකාව වැනි රටවලින් ද මේ පිළිබඳ තොරතුරු හමු වේ. ගිල්ගමේෂ් ඉෂ්ටැර් නම් දෙවඟන ගණිකාවන්ට අධිපතීත්වය ඉසිලු බවත් ඇය වෙනුවෙන් කැප වී ජීවිත කාලයම ගණිකාවන් ලෙස විසු කාන්තාවන් සිටි බවට ද අතීත තොරතුරු හමු වී ඇත. ඉන්දියානු ගණිකා වෘත්තිය දිගු කාලීන ඉතිහාසයකට උරුමකම් කියු බවට ඉහත සඳහන් දේවවාදී ආගමික සාධක සාක්ෂි දරන්නා සේම බුද්ධකාලීන භාරතයේ විසු සුන්දරි පරිබ්‍රාජිකාව, අම්බපාලි යන කාන්තාවන් ද මේ සදහා ප්‍රබල සාක්ෂිය. වත්මන වන විට ස්ත්‍රි ගණිකාවන්,පුුරුෂ ගණිකාවන් හා නපුංසක ගණිකාවන් ලෙස ගණිකා ප්‍රභේද දැකිය හැකිය. 

බුදු සිරිපා පහස ලද මනා වු සාරධර්ම පද්ධතියකට උරුමකම් කියන ලද අති උතුම් නිජ බිමක් වූ ලක් මාතාව තුළ පවත්නා ප්‍රබල ආගමික සමාජයීය පසුබිම මත මෙම ගණිකා වෘත්තිය වත්මන වන විට සැඟවුණු වෘත්තියක් ලෙස පවතී. ස්ත්‍රි පුරුෂ භේදයකින් තොරව පොදුවේ ගත් කල මෙම වෘත්තියේ නියලීමට ප්‍රධාන හේතු සාධක ලෙස,

                💢දිළිඳුකම    

                💢නූගත්කම                                                                                       

                💢විරැකියාව        

                💢අධික ලිංගික ආශාව

                💢තරඟකාරි ආර්ථික රටාව

                💢විවිධ සමාජශාලා වෙබ් අඩවි

                💢ප්‍රේම සම්බන්ධතා බිඳ වැටිම

දැක්විය හැකිය. ඉහත හේතු සාඳක හමුවේ යාචකයන්, වීථි සරනවුන්, වයෝවෘද්ධයන් මෙම වෘත්තියට බොහෝ සෙයින් ඇබ්බැහි වේ. එමෙන්ම මුදල් ඉපයීම පමණක් ම අරමුණු කරගත් සමහර පුද්ගලයන් හය හතර නොදත් දරු දැරියන් යොදා ගනිමින් තම අභිමතය සාක්ෂාත් කර ගැනීමට යත්න දරයි. නාගරික ප්‍රදේශයන්හි නේවාසිකාගාර තුළ මෙවැනි ක්‍රියා බහුලව දක්නට ඇති අතර, නුතන තාක්ෂණය සොයා දිවෙන තරුණ ජිවිත අනවබෝධය, නොදැනුවත්කම හමුවේ තම අනාගතය සහමුලින්ම අඳුරු කර ගනුයේ මෙවැනි ක්‍රියාවන්ට යොමු වීමෙනි. තවද තම ශරීර සෞඛ්‍ය සඳහා මනා ප්‍රකාතිකාර බලාපොරොත්තුවෙන් සම්බාහන මධ්‍යස්ථාන වෙත යොමු වන බොහෝ තරුණයින් මෙම ඛේදජනක තත්ත්වයට ගොදුරු වීම සිදු වන්නේ ඔවුන්වත් නොදැන වීම අතිශ්‍ය කනගාටුදායක කරුණකි. එපමණක් නොව බස් නැවතුම්පොළ, දුම්රිය පොළ, උමං මාර්ග, මහාමාර්ග ආදි නිතර ජනයා රැස්වෙන ස්ථානවල ද මෙවැනි වෘත්තිකයන් දැකිය හැකිවන අතර එමඟින් ද බොහෝ පිරිස් මෙයට ඇබ්බැහිවීම දක්නට ලැබේ.

                බුදුන් දැක නිවන් දකිමැයි - දෙව්රම යන පාර අහන

                ඔබ ද පටාචාරාවකි, ඔබ ද කිසාගෝතමියකි

                පිරිමින්ගේ පාප කඳට දෝස විඳින ළඳුනේ 

                අඳුරේ පව් කරන දනා එළියෙ රවන ළඳුනේ

                ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ

                කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ

විවිධාකාර අදහස්වලින් හෙබි වත්මන් සමාජය බොහෝ සේ කුරිරුය. තමන්ගේ මව, සොහොයුරිය, හිතවතිය, මිතුරිය හා සමාන ගැහැනියක් වන ඇය ගණිකාව යන නාමයෙන් හංවඩු ගසන්නේ ඇයගේ හදවතෙහි ඇති දුක්ඛ දෝමනස්සයන් පිළිබඳ ව මදක් හෝ නොසිතාය. මනා වූ සාරධර්ම පද්ධතියකට උරුමකම් කියන්නා වූ අපගේ සංස්කෘතිය තුළ මෙවැනි වෘත්තීන් සදාචාරසම්පන්න නොවන බව සත්‍යයකි. නමුදු ඇය එම තත්ත්වයට පත්වන්නට නානාවිධ හේතු කාරණා බලපාන්නට ඇත. ඇයව දෝෂදර්ශයට ලක් කිරිම මිස ඇයගේ විනාශ වූ ජීවිතය පිළිබඳ සිතිමට කිසිවෙකු හෝ නොමැත. කළ යුතු වන්නේ ඔවුන්ව තව තවත් අසරණත්වයට පත් නොකොට ඔවුන්ගේ අනාගතය යහමඟට ගැනීමට උත්සාහ ගැනීමයි. ඒ සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම, රටේ අනාගතය සාරවත් කර ගැනීමට යෙදිය හැකි මනා පිළියමකි. ඒ සඳහා,

                   💫අධ්‍යාපනය නගා සිටුවීම

                   💫ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම

                   💫රැකියා අවස්ථා වැඩි දියුණු කිරිම

වැනි ක්‍රියාමාර්ග ගත හැකිය.

මෙම ගණිකා වෘත්තිය නීතිගත කර ඇති රටවල් ද බොහෝමයක් පවති. ඕස්ට්‍රේලියාව, ඇමරිකාව, නෙදර්ලන්තය වැනි රටවල් ‍මේ සඳහා නිදසුන් ලෙස දැක්විය හැකිය. නමුදු ලංකාව, ඉන්දියාව, සෞදි අරාබි වැනි රටවල මෙම වෘත්තිය නීතියෙන් තහනම් වුවද වැඩි වශයෙන් දක්නට ලැබේ. පසුගිය කාලයෙහි රටෙහි පැවති යුධමය තත්ත්වය හමුවේ අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ මෙවන් ක්‍රියා බහුලව සිදුවන්නට විය. රට තුළ මේ සඳහා නීතිමය වශයෙන් අවසර නොතිබුණද හොර රහසේ සිදුවන ක්‍රියා සමාජ සංස්කෘතියට බලපෑම් කිරිමට සමත් වී ඇත. සාරධර්ම, සදාචාරාත්මක බව පිරිහි යාම, පවුල් සංස්ථා බිඳවැටිම, සමාජ රෝග ව්‍යාප්ත වීම වැනි අයහපත් ප්‍රතිඵල මෙමඟින් දක්නට ලැබේ. එපමණක් නොව වර්තමානය වන විට ශ්‍රි ලංකාව තුළ වසරකට සිදුවන ස්වාභාවික ගබ්සා ප්‍රමාණය 48000 දක්වා වර්ධනය වී ඇත්තේ ද, එමෙන් ම ළමා හා මාතෘ මරණ ප්‍රමාණයද දිනෙන් දින ඉහළ යාමක් දක්නට ලැබේ.

සම්බුදු පහසින් ඔකඳ වූ අගනා සංස්කෘතියකට උරුමකම් කියු ලක් මාතාව තුළ මෙවන් ව්‍යසනයන් වර්ධනය වීමට ඉඩ නොදි හැකි සෑම අයුරින්ම පිළියම් යොදමින් සධාචාරාත්මක සමාජයක් උදෙසා ඇප කැප වීමට උත්සුක වීම අප සැමගේ යුතුකමකි.  

                         

25 comments:

  1. ගොඩක් වටින අදහසක්. නියමයි 🔥✍️

    ReplyDelete
  2. සමාජරෝග හිස එසවීමත් දැන් වැඩි..

    ReplyDelete