Friday, January 21, 2022

ගුරු වලප පද්‍ය විචාරය


 

වේවැල් පහර විඳ

ගුරු ළඟ දණ ගාපු

කුමරෙක් සිටියාලු

පෙර කල තල කාපු

මඩ දිය වුණත්

නිල් දියකට හරවාපු

ගුරුවරු සිතයි

ලොවකට අපි නොසිතාපු...

 

දරුවන්ගේ යහපත සදන ගුරුවරයා සැබවින්ම දෙවියෙකි. වෛද්‍යවරයා අතින් සිදුවන වරද මහ පොළොව ද, නීතීඥයා අතින් සිදුවන වරද සිපිරි ගෙය විසින් ද වසාගන්නේය. එහෙත් ගුරුවරයා අතින් සිදුවන වරද ලොව පුරා හැම මොහොතකම පෙනෙන්නට පවතී. ගරු කිරීම් ලැබීමට සුදුසු තැනැත්තා ගුරුවරයා නම් වෙයි. සිය ගෞරවාන්විත සේවාව නිසාම සමාජයේ වන්දනීයත්වයට භාජනය වන්නේ ගුරුවරයා පමණි. ගුරුවරයා ද එක්තරා වූ වෘත්තිකයෙකි. නමුත් සමාජයේ වන අනෙක් සෙසු වෘත්තිකයන් නොලබන සමාජ ගෞරවය, වන්දනීයත්වය ලබන්නේ ගුරුවරයා පමණි. සමස්ත ගුරු වෘත්තිකයෙකුගේ ම අරමුණ වන්නේ තමා තාරකාවක් නම්, තාරකාවට බබළන්නට ආලෝකය ලබා දෙන සූර්යයා මෙන් තම ශිෂ්‍ය පරපුර අනාගතයේදී බබළනු දැකීමයි. එලෙස තමාට වඩා තම ගෝල පරපුර ඉදිරියට යනු දැකීම ගුරුවරයෙකුට හැර අන් වෘත්තිකයෙකුට සිදු කළ හැකිද යන්න ප්‍රශ්නාර්ථයකි. මන්ද වත්මන වන විට එකෙකු පරයා අනෙකාගේ නැගී සිටිම සුලබ කරුණක් වුව ද, බොහෝවිට එය සිදුවන්නේ වංචනික ආකාරයෙන් වීමයි. ස්ව කැමැත්තෙන් ම තමා අභිභවා ඉදිරියට යන්නන් හට ආශිර්වාද කරන සමාජයක් වෙනුවට අකුල් හෙළන සමාජයක් බිහිවීම තුළ එවන් වංචනික ක්‍රියා සිදු වීම පුදුම සහගත නොවේ.

ඇතැම් විට ගුරුවරයා දඬුවම් කරන්නේ තම අනාගත ශිෂ්‍ය පරපුර යහමගට ගැනීමට මිස  කිසිඳු පලිගැනීමේ චේතනාවකින් නොවේ. මෙය බොහෝ පාසල්වල දක්නට ලැබෙන සුලබ සංසිද්ධියකි. පංතියක් තුළ බොහෝවිට ඉදිරි පෙළ අසුන් ගන්නේ දක්ෂයන් යැයි මතයක් පවතී. එය අසත්‍යයක්ම ද නොවේ. එවිට සිදු වන්නේ පසුපස අසුන්වල සිටින දරුවන් කෙරෙහි ගුරුවරයා තුළ වන අවධානය අඩු වීමකට ලක් වීමයි. මන්ද, ඉදිරි පෙළ සිසු කැළ පසු පෙළ සිසු කැළට වඩා වේගයෙන් තම අධ්‍යාපන කටයුතු සිදු කිරිමයි. නමුත් ගුණධර්ම ආදියෙන් ස්වයංපෝෂිත දරුවන් ඉදිරි පෙළට වඩා පසු පෙළ අසුන්වලින් බිහිවන බව අවිවාදයෙන් ම ප්‍රකාශ කළ හැකිය. ඒ අනුව, ප්‍රදිපිකා පතිරාජයන්ගේ “ගුරු වලප නම් පද්‍ය පංතියට ද වස්තු කොට ගන්නේ එවන් සිදුවීමකි. එනම්, පාසල් අධ්‍යාපනය තුළ දක්ෂ අදක්ෂ භේදය හුවා දැක් වූ නමුදු පසු කාලීනව අදක්ෂ යැයි හංවඩු ගැසු සිසුවෙකුගේ ගුණගරුකභාවය හමුවේ පශ්චත්තාපයට පත්වන ගුරුවරියකගේ සිතිවිලි සමුදායකි. උක්ත වස්තු විෂය පාදක කොට ගනිමින් කිවිදිය සිය පද්‍ය නිර්මාණය සහෘදයා වෙත ගෙනහැර පාන්නේ නිසදැස් ආකෘතියෙන් යුත් උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙනි. ඇය පැදි පෙළ අරඹන්නේ පාසල් සමයේ දී අදක්ෂ යැයි හංවඩු ගැසු නමුදු ඔවුන් වත්මන් සමාජයේ ගුණගරුක පුද්ගලයෙකුගේ ක්‍රියා කලාපය මැනවින් ඉටු කරන බව විදහා දක්වමින් මෙසේය.

                       

“හුළං නැති ස්කූටරය තල්ලු කරගෙන එනකොට

                          ළඟටම දිවවිත් ඇයි ටීච මක් වීද විමසන

                          විනාඩියකුඳු නොයවා ගෙන සකලවිධ ආයුධ

                          මා නොකි අඩුපාඩු සොය සොයා සාදන       

 

මෙහිදි, තම යතුරු පැදිය යම් අස්ථාවරත්වයකට ලක් වීම හේතුවෙන් එය පිළිසකර කර ගැනීමට ගරාජයක් වෙත තල්ලු කරගෙන පැමිණෙන ගුරුවරිය කිසිවිටෙකත් බලාපොරොත්තු නොවු සිදුවීමක් සිදු වූ බව මෙහිදි කිවිදිය පසක් කොට දක්වයි. එනම්, පාසල් කාලය තුළ කිසිඳු පැසසුමකට ලක් නොවු නිරන්තර කෝටු පහරට ලක් වූ ශිෂ්‍යයෙක් තමා වෙත පැමිණ තොරතුරු විමසීමයි. මෙය ගුරුවරියට පුදුමසහගත සිදුවීමක් මෙන් ම පශ්චත්තාපයක් ගෙන එන සිදුවීමක් ලෙස ද කිවිදිය හුවා දක්වයි. ඇතැම් විට ඇය පශ්චත්තාපයට ලක් වන්නේ එදා පාසල් කාලය තුළ තම පැසසුමට ලක්වූ දරු දැරියන් අද වනවිට තමා නන්නාදුනන පුද්ගලයෙකු ලෙස බැහැර කිරීම ද යන්න ප්‍රශ්නාර්ථයකි.

තිබු අඩුපාඩුව පමණක් නොව විවිධ වූ අඩුපාඩු සොයා බලමින් පිළිසකර කරන මෙම තරුණයා දෙස ගුරුවරිය බලා සිටින්නේ පසුතැවීමකට ලක් වූ පුද්ගලයෙකු පරිද්දෙනි. නමුත් මෙම සිසුවා පාසල් සමයේ ලැබූ දෝෂාරෝපණ, විවිධ ගැරහුම් යනාදිය තම ජීවිතයට ආලෝකයක් එක් කර ගැනීමට උපයෝගී කොට ගෙන ඇත. ගුරුවරයෙකු දොසක් නැගුව ද පලිගැනීමට මාන බලන සමාජයක මෙවන් තරුණයෙකු තම ගුරුවරියට සලකන ආකාරය පැසසුම් සහගතය. එපමණක් නොව තමා ලබා දුන් නැණ ගුණ දම්වල මහිමය කියාපාන්නාක් මෙන් මෙම තරුණයා තම යතුරු පැදිය පිළිසකර කිරීමට වැය වූ මුදල නොගත් බව ද කිවිදිය මෙහිදි පසක් කරන්නේ මෙසේය.

 

  “පසුම්බිය අරිනා විට

    සල්ලි මොකටද ටීච

    ඕනෙ වේලෙක එන්ඩ

    කියමින් මජං අත පිහිදාන

    වැඩියෙන් ම ගුටිකාපු අසමත් ම ශිෂ්‍යා නුඹ”      

 

මෙහි එන ගුරුවරිය පවසන ආකාරයට පාසල් සමයේදී අනේක වූ දෝෂාරෝපණ, ගැරහුම්වලට ලක්ව ඇත්තේ මෙම සිසුවාය. නමුත් ඔහුගේ සිත තුළ කිසිඳු කිලිටු සහගත සිතිවිල්ලක් නොමැති බව කිවිදිය පසක් කරන්නේ    සල්ලි මොකටද ටීච - ඕනෙ වේලෙක එන්ඩ” යනුවෙනි. මෙහිදි ගුරුවරිය තම අතීත මතකාවර්ජනය කරමින් මොහුගේ පාසල් සමය හා වත්මන් තත්ත්වය සංසන්දනාත්මකව මැන බැලීමක් සිදු කරන්නට ඇතැයි සිතිය හැකිය. පාසල් සමයේ දි නිසි අධ්‍යාපනයක් නොලබා ඇති ආකාරය පසක් කරලීමට කිවිදිය මෙහිදි “මජං අත පිහිදාන” යනුවෙන් වදන් භාවිත කර ඇත. නිසි අධ්‍යාපනයක් ලැබුවේ නම් ගරාජයක වැඩ කිරිමට සිදු නොවේ. නමුත් නිසි අධ්‍යාපනයක් නොලැබුව ද වැඩිහිටියන්ට සැලකීම, පිදිය යුත්තාට පිදීම යනාදි ගුණධර්ම මොහු උත්කෘෂ්ට ලෙස ප්‍රගුණ කර ඇති බව කිවිදිය පසක් කරලන්නේ මෙසේය.

 

                           “දී යතුර මා අතට දණ නවා වඳිනා විට

                            යකුළු පහරක් වැදි දෙපළු විය පුතේ මා හදවත”

 

මෙහිදි කිවිදිය “යකුළු පහරක්” යනුවෙන් රූපකාර්ථවත් බස ද උපයුක්ත කොට ගෙන ඇත. පොත පතේ දැනුම ලබා ගන්නට මොහු අසමත් වුව ද කිසියම් වූ වෙනත් මාර්ගයකින් තම ස්ථාවරත්වය ගොඩ නගා ගැනීමට සමත් වී ඇත. මෙහිදි ගුරුවරිය යම් පසුබෑමකට ලක් වන්නේ පාසල් සමයේ දී මොහු සතු වූ දක්ෂතා නිවැරදි ආකාරයට ඉස්මතු කොට ගැනීමට නොහැකි වූ නිසාවෙනි.

පාසල් සමයේ දි සිදු වු ගැරහුම් මොහු තම සිතෙහි තැන්පත් කොට ගෙන ඒවාට පලි ගැනීමට යත්න නොදැරුව ද, පාසල් කාලයේ දී මොහු වැනි ම වු තවත් පිරිසක් තම පංතියේ සිටි බවත් ඔවුන්ට නිසි අවධානයක් ලබා නොදුන්නේ ය යන මතයත් නිසා ගුරුවරිය මෙහිදි මහත් වේදනාවට පත් වෙයි. එම වේදනාව කොතෙක් වර්ධනය වී ද යත් සිසුවාගේ නෙත් දෙස බැලීමට පවා ඇයට අපහසුවක් ඇති වූ බව කිවිදිය පසක් කරන්නේ මෙසේය.

 

                           “නොබලා ඔබේ ඇස් දෙස

                             බිම බලාගෙන හැරි යමි

                             ඔබේ ගුණ වාර්තා පොතට ගත නොහැකි වූ

                             අසමත් ම ගුරුවරිය ලෙස”

 

මෙහිදි ගුරුවරිය තම ගුරු ජීවතය තුළ ලැබූ විශාලත ම අසමත් වීම ලෙස දක්වන්නේ මෙවැනි සිසුන්ගේ පොතේ පතේ දැනුම පමණක් වාර්තාගත කිරීමට උත්සාහ දැරීමයි. මෙහි එන ගුරුවරිය පසුතැවීමට ලක් වන තවත් කරුණක් ලෙස කිවිදිය දක්වන්නේ “ ඔබේ ගුණ වාර්තා පොතට ගත නොහැකි වූ - අසමත් ම ගුරුවරිය ලෙස”  යනුවෙනි. එනම් පොතේ පතේ දැනුම හැරෙන්නට වෙනත් ගුණධර්ම මොවුන්ගේ ජීවිතයේ පවතින බව මෙන් ම ඒවා වර්ධනය කිරීම ඇයට සිදු කිරීමට නොහැකි වූ බව දැක්වීමයි.

 

කිවිදිය සිය අත්දැකීම සහෘදයා වෙත සමීප කිරීමේදී “මක් වීද , එන්ඩ” යන්නෙන් ගැමි වහර ද “ ස්කූටරය, වීච” යන්නෙන් නූතනත්වය කැටි වූ බස් වහරක් උපයුක්ත කොටගෙන ඇති බව පසක් වේ. එමෙන් ම “සොය සොයා” යන්නෙන් අනුප්‍රාසාත්මක බස් වහරක් ද, “යකුළු පහරක්” වැනි රූපකාර්ථවත් බසක් ද එක් කොට ගනිමින් රචිත මෙම පද්‍ය පංතිය ප්‍රදිපිකා පතිරාජයන්ගේ සාර්ථක පද්‍ය පංතියකි.

11 comments: