Monday, January 31, 2022

ගසක් කතා කරයි...


 

 නුබට දුන් ජීවේ මන්...

අමතකයි නුබට දැන්...

කිසිඳු කෙනෙකුන්...

සිතන්නේ නැත...

හුස්ම ගන්නේ අපි නිසා බව...

 

කෙසේ නම් මා බිම හෙලන්න ද...

කිසිඳු දේ නොදැනුවත් ලෙසකට...

අනාගතයක් ගොඩනගන්නට...

නුබට ඇහැකි ද ගස් වවන්නට...

 

හරිත පාටින් ලොව මවන්නට...

හුස්ම ගන්නට ජීවෙ දෙන්නට...

අපට තරමින් කාට හැකිදෝ...

ලොවක් මේ ලෙස හැඩ කරන්නට...

 

රූස්සෙට මන් හැදී වැඩුනේ...

සියලු සිත් මතු නිවාලන්නට...

සිතක් නැති සේ නසා දැමුවේ...

අනාගතයේ නුබේ ජීවය 💕

නිමිත්ත:- හැම කතාවකම සඳ එයාගේ කතාවේ කෝ කියලා අහපු මලට ඉරකින් ලද ලිපියක්...


ලිව්වමුත් කතන්දර උඹේ පොත පිරෙන්න

සමහරක් පරිඡයන් බැරි උනා ගොතන්න

අපේ කතාවේ  රැජිණ දෙව් ලොවක ඇරෙන්න

හැකි උනේ නැ පුතේ මේ   වඟක් කියන්න...


පසු වදන නැතී පොතට කදුලු නම් නොඑන්න...

අම්මා කොහෙදැයී  මගේ එපා යලී අහන්න...

හැකි උනොත් දියණියක් උඹේ කුසින් වදන්න..

මල් වලට බැහැ පුතේ තනී වෙලා පිපෙන්න..


ඉර ගිලෙන ගොම්මනට මට බයක් දැනුනා..

මහ රෑට කිරි හොයලා උඹ හුඟක් ඇඩුවා...

උඹත් නොහිටින්න මට කුමක් වේද හිතුනා..

කිරි නැතත් තණ පුඩුව උඹේ තොලට පෙගුනා...


ඈ යද්දී හරියටම උඹට සතී දෙකයී.......

මම දුටුව හීනයක උඹ සුවඳ මලයී.....

මහ මඟක තියලනම් ගියේ නෑ දුකයී....

පපුකෙන්ද පලා හරී දෙනවා කිරි ආවනම්,

එරුණ කිරි පිටුපෑව උඹ මගේ පණයී....


වැටි වැටි ඇවිදිද්දී මට ලෝභ හිතුනා...

රත් උනත්  ඉහ ටිකක් ගින්දරක් දැණුනා...

අම්මා අප්පා වෙච්ච තැන් එමට තිබුනා...

උඹේ හැම හිනාවෙම මගේ සතුට එඹුනා...


දහදොළොස් විය යද්දී උඹ රෝස මලක්...

දහඅතේ මල් පිපුණ රතු තඹර විලක්...

අමාවක ආ රෑක පිරුණ පුර හඳක්...

ගැස්සුනා තුන් හිතම ගෑවෙයීද විසක්...


මැටිගාපු බිත්තියක කැඩපතක් තියලා..

උඹේ තඹර උඹටත් නොපෙනෙන්න වසලා..

ගේ මැද්දේ පිපුණාම පෙති මැදින් විදාලා..

කිළි කුමට අප්පෙකුට නාවව්වා ඔතාලා...


කියු තරම් ගමේ උන් දෝස ගැන තනීකම්...

තනී වෙද්දී කවුරුවත් ඇහුරුවද හිඟකම්..

තනී හිතින් පුරවලා උතුරන්න මණු දම්...

ඒ තමයී මම උඹට ලියා දුන් වත්කම්....


ඇත්තමයී රත්තරං මේ ඩිංග අහන්න...

ඔයා දැන් ලොකු මලක් ඒත් මේ බලන්න...

ඉඩෝරෙත් වසන්තය සම හිතින් දරන්න...

කොයී තැනක පැල උනත් සුවදකින් පිරෙන්න...


සමහරක් තැන් පුතේ බැහැ තදින් බදන්න...

ලිහෙනකොට බැමි වලින් නිහඩවම හිදින්න...

හැමදේම දෙවනී උනේ විළි බරට ඇරෙන්න...

එකමයී අ '(අම්මා)ලිව්වේ පිං ඇයට ලැබෙන්න....

💚

අම්මා~

ඉල් මහේ හුළඟ නුඹ 

යටි හිතට  හමන.. 

පෙනී පෙනී අම නිවන

ප්‍රේමේ දන් දෙවන..

සැනසීම තිබුනේම 

හිනාවක මවන..

කප්පරක් වේදනා 

තප්පරෙන් නිවුනේම

උණු වතුර ඩිංග හරී

ආදරෙන් පොවන.. 

ඇබින්දක වෙනසකට

පවා ඇස් තෙමෙන..

ඉහ ටිකක් රත් උනත්

ගින්දරක් දැනෙන..

පාරමී නොපිරුවත්

ප්‍රේමයක බැඳෙන 

අප්පච්චී බුදු වෙද්දී 

නුඹ වෙයන් යශෝරා 

යසස්කුල රාහුලත් 

ප්‍රේමයට  පුදන...


     

       💚

අප්පච්චී~

 

වියලිලා පත් ඉරී වැටුනත් 

මුදුන් මුල කඳ තදට අල්ලා ...

බෙදී ගෙන  දුක් ආව ගංගා

විසල් සයුරක් වෙලා ඉල්ලා..

හුඟක් වැලී කැට මුතුත් කරලම 

දිනක  වියපත් උනත් බෙල්ලා...

පුරුදු පිල හිද ලැබූ විවරණ

පසෙකලා අපේ කඳුලු ගිල්ලා...


    

                                                                               💚🌻

Saturday, January 29, 2022

තාත්තා...

 

    ජීවිතය කියා දුන්

    ඇඳුරිඳු නුඹයි...

    පපු කුහරෙ තිබූ ස්නේහය

    නොපෙන්වා මා දැඩි කළ

    සිංහයා නුඹයි...

    පෙරට යමි

    මැඩලමින් බාධක

    දියත සරනෙමි

    වෙලී ඔබ සුරතෙහි...

    එදා අද මෙන්

    හෙටත් අවැසිය

    දිරිය ලැබුමට

    ඔබේ දෑතම...

    මගේ ලොව තුළ

    සිසිල සදනා

    මහරු නුග රුක

    ඔබම පමණී

    නිති දිනේ...


 

Thursday, January 27, 2022

අහම්බෙන් හිමි වූ ආදරී...

 

 


“චූට් පුතා... චූටි පුතා....

නැගිටින්න....

07ත් පහු වෙලා.

අර ළමයගෙ ගෙදර යන්නත් තියෙනවා අද...

“ අනේ අම්මා..... තව විනාඩි 10 ක් දෙනනකෝ.......

“ නැගිටින්න...  නැත්නම් දන්නවනෙ අම්මා මොකද්ද කරන්නෙ කියලා..

“ අයියෝ අම්මා... එපා වෙනවනෙ නිවාඩු දවසෙවත් නිදාගන්න නෑනේ....

යැයි පවසමින් එක් ඇසක් ඇරල බලනකොට ඔන්න ඉන්නවා මව්තුමි දුම්මල වරමත් අතින් අරගෙන මගෙ ඇද ළඟ. මව්තුමීට තරහ ගියොත් උදේ ම සීතල වතුර එකකින් නාන්න වෙනව කියල අත්දැකීමෙන් දන්න නිසා මං මූණත් පුළුටු කරගෙන ඇදේ වාඩි වුණා. මෙන්න එතකොට මගෙ මව්තුමී මට නෝන්ඩියට වගේ හිනා වෙවි කාමරේ දොරත් වහගෙන පහළට ගියා.

............................................................................................................................................................

අයියෝ.... ඔයාලා බැලුව ද කව්ද මේ කම්මැලි පිස්සු කොල්ලා කියලා,

කම්මැලි නම් තමයි හැබැයි මට පිස්සු නෑ හොඳේ...

ඔයාලා දන්නේ නෑනේ ඉතින් මගේ විස්තර....

මොනවා අහනවද මන්දා නේද? මං කියන්නෙ නැතුව ඔයාලා කොහොම මගෙ විස්තර දැනගන්න ද නේ....

මම තමයි, මේ Business world එකේ ඉන්න සුජිත් පතිරණ මාන්නප්පෙරුමගෙයි, නිල්මිණි විශාඛා මාන්නප්පෙරුම‍ගෙයි one & only son තරුල් ප්‍රගීත් මාන්නප්පෙරුම. මම තාම පොඩි කොල්ලෙක් අනේ... අවුරුදු 26යි. ඒත් ඉතින් ඒක මේ මව් දෙමව්පියො තේරුම් ගන්නෙ නෑනේ...මේ උදේ පාන්දර මාව අහරවගෙන ලෑස්ති වෙන්නෙ මට කෙල්ලෙක් බලන්න යන්න... මොන උරචක්කර මාලයක් ද දන්නෙ නෑ....

කල්පනා ලෝකෙ ගිලිලා ඉන්නකොට ඔන්න මව්තුමීගේ තෙවන සහ අවසන් Announcement එකත් පත්තු වුණා. මං ටාර් ගාලා ඇදෙන් පැනල Wash room එකට රිංගගෙන විනාඩි 10න් වගෙ Wash එකක් දාගෙන අම්මම Iron කරල දුන්න ලා කොළ පාට shirt එකට කළු කලිසමක් ඇදගෙන කොණ්ඩෙත් පොඩ්ඩක් උඩට කරල හදාගෙන සිංදුවකුත් කිය කිය පහළට බැස්සා..

මෙන්න බොලෙ මගෙ මව් දෙමව්පියෝ හිනා වෙවි මගෙ දිහා බලාගෙන ඉන්නවා....

ඒ දෙන්නටම එහා පැත්තෙන් මං දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා මගෙ එකම අතිජාත පාප මිත්‍රයා...

මං හිමීට ඌ ළඟට කිට්ටු කරල වැලමිටෙන් ඇන්නා උගෙ බඩට..... ඔන්න පටන් ගත්තා අපි දෙන්නගෙ වලිය..

“ මොකද යකෝ වෙලා තියෙන්නේ....

“ මට මුකුත් වෙලා නෑ... බොට මොකද වෙලා තියෙන්නෙ..? දැකපු නැති මනුස්සයෙක් දිහා බලනව වගෙ කටත් ඇරගෙන බලාගෙන ඉන්නේ....?

“ අප්පා............. බොලාව නම් දැකල දැකලම මට තිත්ත වෙලා තියෙන්නෙ... ඒත් මං බලාගෙන හිටියෙ මේ කුම්භකරණයා කොහොමද මේ වෙද්දි ලෑස්ති වෙලා ඉවර වුණේ කියලා..

“ මං බොට කියන්නෑ කවුද කුම්භකරණය කියල....

මං ඌ පස්සෙ පන්න පන්න ගේ පුරා දුවන කොට ඔන්න ආයිමත් මව් තූමී වයින් වෙලා පටන් ගත්තෙ නැද්ද දෙහි කපන්න.. අනේ ඉතින් අපේ පියාණෝ ළඳරු සෙල්ලම් කියල හිනාවෙවි ඉන්නකොට එයාටත් ඉතින් හම්බවුණා සීතල රැවිල්ලක්....වාහනේ ළඟට ඇවිල්ලත් ඉතින් අපේ වලි නම් ඉවරයක් නෑ.

මගෙ Driving දන්න නිසාම තාත්තයි මගෙ පාප මිත්‍රයයි දෙන්නම සද්දෙ දානව....

“සුදුපුතා මමයි වාහනේ ගන්නේ...”

“ අම්මෝ ඔව් Uncle මූට කෙල්ලෙක් බලන්න කියල ඇවිත් අන්තිමට මට මෝචරියට යන්න වෙයි.”

ඔය දාන සද්දවලට මේ තරුල් සලෙනවද...? නෑනෙ..නෑනේ.... මම මගේ අන්තිම තුරුම්පුවත් දැම්මා...

“ හරි මට වාහනේ දෙන්න බැරි නම් මම එන්නේ නෑ ඔය කෙල්ලව බලන්න යන්න....”

එහෙම කිවුවට පස්සේ නම් මට Driving sheet එක හම්බවුණා...කොහොමින් කොහොම හරි පිටත් වෙනකොට 10 ත් පහු වෙලා....

අපේ මව්තූමිගෙන් පාරත් අහගෙන පැය ගාණක් තිස්සෙ යනවා යනවා ඉවරයක් නෑ....

“මොකද්ද අම්මා යනවා යනවා ඉවරයක් නෑනේ......

කියල මම මූණත් නොරොක් කරගෙන අම්මා දිහා බලනකොට අම්මා ළඟ වාඩි වෙලා ආපු මගෙ යාළුවා හොඳට නිදි.මටත් ඉතින් ඒ වගේ ඒවා දැක්කම නිකං නලියනවා වගේ තමයි..

“දෙන්නම් උඹට හොඳ  වැඩක්.....

කියල මම ගත්තා වාහනේ තිබුණ වතුර බෝතලයක්. අම්මයි තාත්තයි එපා කියද්දිම දුන්නා හොඳ වතුර පාරක්. ඌටත් ඉතින් ඉන්නෙ කොහෙද කියලත් අමතක වෙලා කිව්වෙ නැද්ද ලස්සන වචන මාලාවක් ම..

“මොනවද ළමයෝ කරේ...

කියල අපේ අම්මත් ඌගේ පැත්තටමයි කතාව. යනවා යනවා ඉවරයක් නැතුව කේන්තියෙන් හ්ටපු මට ඒ වදනත් එක්ක තවත් කේන්ති ගිහින්,

“මොකද් ද අම්මා.....

මම කියපු දේ කියලා ඉවර කරන්නත් කලින් අම්මා කියපි නම්,

“ චුටි පුතා.. ඉස්සරහින් වමට හරවන්න...

අම්මලගෙ හිත් රිදවන්න බැරිකමට මේ ගමන එන්න ආවට මගේ හිත හොල්ලපු පුංචි දඟකාරියක් හිටියා.

අතීතයට....

එක දවසක් මායි කවියයි ( කවියා කියන්නේ ඉතින් මගෙ අතිජාත පාප මිත්‍රය තමයි.) Office එකේ වැඩ ඉවර වෙලා වෙනසකටත් එක්ක කියල Beach එකට ගියා. ටිකක් වෙලා ගල් බැම්ම උඩ වාඩි වෙලා රැල්ල දිහා බලාගෙන හිටපු කවියා එකපාරටම

“ මම කන්න මොනවහරි අරගෙන එන්නම්

කියල පෙටටි කඩ පැත්තට ගියා. ඌත් ගියාට පස්සේ මම එතනින් නැගිටල ටිකක් රැල්ල පාගන්න ඉස්සරහට ගියා. සතියෙ දවසක් නිසා වැඩි සෙනගක් හිටියෙත් නෑ. ඒත් පොඩි කෙල්ලෝ සෙට් එකක් රැල්ල එක්ක සෙල්ලම් කර කර කෑ ගහනවා.හරි සැහැල්ලුවෙන් සෙල්ලම් කර කර හිටපු එක කෙල්ලෙක් නිසා අවුරුදු 26ක් සැහැල්ලුවෙන් හිටපු මට මගෙ සැහැල්ලුව නැතිවෙලා ගියා. එදා ඉදලා කොච්චර හෙවුවත් ඒ පුංචි දඟකාරිව මට හොයාගන්න බැරි වුණා.

මේ යන ගමනත් එක්ක ආයේ කවදාවත් ඒ පුංචි දඟකාරිව මට හිමි වෙන්නෙ නෑ කියල හිතෙනකොට මට බරටම හුස්මක් හෙළුණා.

..............................................................................................................................................................

 “ඔය දකුණු පැත්තේ තියෙන Gate එකෙන් වාහනේ ඇතුළට දාන්න

අතීත මතක අස්සේ අතරමංවෙලා හිටපු මම මේ ලෝකෙට ආවෙ, තාත්තා කතා කරන කොට. සතුටින් ඉන්නෙ කියල පෙන්නන්න හැදුවට ඇත්තටම මම හිටියෙ දුකින්.

කෙල්ලෙක් බලන්න කියල අපි ආවේ තාත්තගෙ යාළුවෙක්ගෙ ගෙදරට. ආගිය තොරතුරු කතා කර කර ඉදලා ඒ කෙල්ලගේ තාත්තා,

“මැණිකෙ ගිහිං චූටි දුව එක්ක එන්න

කිවුවට පස්සේ කවියා බැලුවෙ නැද්ද මගෙ දිහා මනමාල හිනාවකුත් දාගෙන. මම ඌටත් රවලා බලාගෙන හිටියේ කව්ද මේ කෙල්ල කියලා. විනාඩි 05 ට විතර පස්සේ හෙමින් හෙමින් පඬිපෙළ බැහැගෙන එන කෙල්ල දැකල මට හුස්ම ගන්නත් අමතක වුණා. කොහොම ව්ශ්වාස කරන්න ද එදා අහම්බෙන් දැකපු පුංචි දඟකාරිව බලන්න මම ආවෙ කියලා.කෙල්ල ළඟට එනකොට ම මට ඉබේම පුටුවෙනුත් නැගිට්ටුණා. පුංචි ලැජ්ජාවකුත් දැනුණා ඉතින්. මම ඉක්මනට කෙල්ල අතේ තිබුණ හෙප්පුව අරගෙන වාඩි වුණා.

“දෙන්නත් එක්ක කතා බහ කරල අඳුනගන්නකෝ එහෙනම්

කියල ගෙදර අය තේ මේසේට ගියාට පස්සේ මම හිමීට මිදුලට ආවා.දඟකාරිත් මගෙ පස්සෙන් මිදුලට ආවා. ටික වෙලාවක් යනකනුත් කෙල්ල කතා කළේ නැති නිසාම මම කෙල්ල දිහා බැලුවා.කෙල්ල සාරි පොටත් අතේ ගුලි කරගෙන බිම බලාගෙන ඉන්නවා. මෙයා කතා කරන්නෙම නැති නිසා මම ම කතාව පටන් ගත්තා.

“ඔයාගෙ නම මොකද්ද?

ඇස් බෝල කරගෙන මං දිහා බලාගෙන ඉදලා

“තෙරුණි විහංසා

කියලා ටක් ගාලා බිම බලාගත්තා.ටික වෙලාවක් යනකම් ලැජ්ජාවෙන් හිටපු කෙල්ල ටික වෙලාවක් ගියාට පස්සේ තොරතෝංචියක් නැතිව කියවනවා.

කොහොමින් කොහොම හරි ගෙදර යන වෙලාවත් ආවා. මායි, කවියයි, අම්මයි, තාත්තයි වාහනේට නැගලා පිටත් වෙලා යනකම්ම එයා අපි දිහා බලාගෙන ඉන්නවා මං දැක්කෙ side mirror එකෙන්.

ටික දුරක් යනකම් කවුරුත් කතා කළේ නෑ. ඒ නිහඬ බව බිඳලා අම්මා කියපු කතාවට ඉන්න තැනත් අමතක වෙලා පාර මැදම Break  පෑගුණා. ඒ තරම් සතුටක් දැනුණා මට.

 

නිමි.